ෆින්ලන්තයේ බයිසිකල් ගමන

හුඟක් රටවල බයිසිකලය කියන්නේ පරිසර දූෂණය අවම කරන්න, නගරයේ වාහන තදබදය ඉවත් කරන්න භාවිතා කරන වාහනයක්. බයිසිකලයට අමතර දැන් දැන් විදුලි ස්කූටර් එකත් කරළියට ගෙනෙනවා. අපි ඉන්න නගරයෙත් අපට පොඩි ඇප් (App) එකක් දාගෙන විදුලි බයිසිකලයක් හෝ විදුලි ස්කූටියක් අරගෙන නගර පුරා යන්නත් පුලුවන්. අය කරන ගාන විනාඩියට යුරෝ 0.22 වගේ. ඒ නිසා ලාබයි කියන්න බැහැ. නමුත් ඒ පහසුකම තියෙනවා. ෆින්ලන්තයේ හුඟක් අයට බයිසිකල් තියෙනවා. ඕනම කෙනෙක්ට පාවිච්චි කරපු බයිසිකලයක්  සාධාරණ මුදලකට ගන්න පුලුවන්. මේ පාවිච්චි කළ බඩු විකුණන ස්ථාන වලට ඉංග්‍රිසියෙන් කියන්නේ, සෙකන්ඩ් හැන්ඩ් ශොප් (Second hand shop)  කියලා. ( Second hand shops ගැන දැන ගන්න කැමති අයට මෙතනින් කියවන්න පුළුවන් ෆින්ලන්තයේ Second-Hand Shops (inosha-sithumprasadhea.blogspot.com. )  ගොඩක් වෙලාවට ග්‍රිස්ම කාළයෙදිනම් , පුලුවන් හැම වෙලාවකම බයිසිකල් පාවිච්චි කරන්න කවුරු උනත් පුරුදු වෙලා ඉන්නවා. මෙහෙ සීත කාළයටත් බයිසිකලේ යනවා. සමහර අය  හිම වල යන්න පහසුවක් ලැබෙන නිසා ඒ වෙනුවෙන් තියෙන විශේෂ රෝද වලට මාරු වෙනවා.  

අපිට බයිසිකලේ පදින්න තියෙන්නේ ආරක්ෂාකාරි පාරක. බයිසිකලයේ යන අයටයි, පයින් යන අයටයි වෙන් වුන පාරක් හැම තැනම වගේ තියෙනවා. නගරයට ආසන්න වෙද්දි බයිසිකල් වලට වෙනම පාරක් සහ පයින් යන අයට වෙනම පාරකුත් තියෙනවා. පහළ පින්තූරයක් තියෙනවා නගරාසන්න පාරක් සහ, ටිකක් ඈතට වෙන්න තියන පාරක්. බයිසකල් පාර වෙනම මාර්ග සළකුණකින් පෙන්වල තියෙනවා. ඒවාගේ කාර් යන්න තහනම් කියලත්  සඳහන් කරලා  තියෙනවා. ඒකෙත් පිංතූරයක් පහළ තියෙනවා. 


දන්න තරමින් වැඩිහිටි අයට හිස් වැසුම් අනිවාර්ය නැහැ . පොඩි අයට අනිවාර්යයි. හැබැයි බහුතරයක් අය පළදිනවා. අවුරුදු 5 වගේ වෙද්දි දිවා සුරකුම් මධ්‍යස්ථාන වලින් වසරට දෙවරක් බයිසිකල් සතිය කියලා සතියක් නම් කරලා, දරුවන් බයිසිකලේ එක්ක යනවා සතියම. අපි බයිසිකලෙයි, හිස් වැසුමයි ගිහින් දෙන්න ඕන. සමහර අවස්ථා වලදි පොඩි සහතිකයක් දෙනවා. ඒකෙ ලියලා තියෙනවා මොනවද වැඩි දියුණු කර ගන්න අවශ්‍ය කියලා. දැන් මට හරියටම මතකයේ නැහැ තිබ්බ හැම දෙයක්ම, හරියට දකුණු පසට වෙන්න පැදවීම, කණ්ඩායමක් සමඟ යනවිට හැමොටම පුලුවන් වේගයක් පවත්වා ගැනිම, වෙන අයට ඉඩ දීම වගේ කරුණු කීපයක් තිබුණා. බයිසිකල් චාරිකා වලට සැරෙන් සැරෙ බයිසිකල් ඉල්ලනවා. ඒ නිසා බයිසිකලය ගෙදරක තියෙන අනිවාර්ය දෙයක් විදිහට තමා තියෙන්නේ. මම කළින් කීව වගේ අපිට පාවිච්චි කරපු බයිසිකල් අඩුවට හොයා ගන්න පුලුවන්. ඒ වගෙම තමයි වාහනයේ නලා ගහන්නේ නැහැ වගෙම බයිසිකල් බෙල් එකත් හරිම අඩුවෙන් තමා පාවිච්චි වෙන්නෙ. අනික තමා  බයිසිකලය තනියම පදින්න අමාරු හරි, හුඟ දුරක් පදින්න බැරි හරි දරුවන්ව දාගෙන යන්න බයිසිකලයටම සම්බන්ධ කරන්න පුලුවන් සීට් වර්ග දෙකක් තියෙනවා. මම ඒවාට කියන නමක් නම් දන්නේ නැහැ.  ඒවා සම්බන්ධ කර ගෙන පදින්න අපහසු නැහැ. පහළ තියෙන්නේ එහෙම සම්බන්ධ කරගන්න පුළුවන්  ආසන දෙකක්. මීට අමතරව බයිසකලය  ඉස්සරහට සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. ඒ වෙනුවෙන්ම හදපු විශේෂ බයිසිකලුත් තියෙනවා. 


 කළුවර වෙලාවට බයිසිකලය පදිනවානම් පොඩි විදුලි බුබුලක් සහ reflectors අනිවාර්යයි. නගරයේ, කාර්යාලයේ හැම තැනකම බයිසිකලය ආරක්ශාකාරීව නවත්තන්න පුලුවන් බයිසිකල් සඳහාම වෙන්කල ස්ථාන තියෙනවා. 
 


Comments